පුවත් සහ සිදුවීම්
2026 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී 'රාජ්ය ආයතන' කාණ්ඩය යටතේ ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයට ලෝකඩ සම්මානයක් හිමි විය.
2026.10.19 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ගරු අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් සම්මාන ප්රදානෝත්සවය පැවැත්විණි.
සියලුම දිස්ත්රික් ලේකම් කාර්යාල අතරින්, 2026 දී ජාතික මට්ටමේ පාරිසරික සම්මානයක් ලැබූ එකම එක ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයයි.
වාර්ෂික ජනාධිපති පාරිසරික සම්මාන වැඩසටහන පරිසර අමාත්යාංශය යටතේ මධ්යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබේ. රාජ්ය ආයතන, පෞද්ගලික අංශය, පාසල්, රෝහල්, පළාත් පාලන ආයතන (විශේෂයෙන් අපද්රව්ය කළමනාකරණය සඳහා), රාජ්ය නොවන සංවිධාන, පොලිස් පාරිසරික ඒකක, පාරිසරික රාජ්ය නොවන සංවිධාන සහ ජනමාධ්ය ඇතුළු පුළුල් පරාසයක අංශ ආවරණය වන පරිදි කර්මාන්ත, ව්යාපෘති සහ සමාජය යන ප්රධාන කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්රදානය කෙරේ. මෙම සම්මානය පසුගිය වසර දෙක තුළ ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් ක්රියාත්මක කරන ලද මුලපිරීම් සහ ක්රියාකාරකම් රාශියක් මත පදනම් වේ. 'හරිත කණ්ඩායම', 'ස්මාර්ට් හෝම්' සහ 'නාගරික වනාන්තර' වැනි විශේෂ වැඩසටහන්; පාරිසරික උප කමිටුව හරහා ක්රියාත්මක කරන පාරිසරික ව්යාපෘති; පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කිරීම සහ භාවිතය; දිස්ත්රික්කය තුළ පාරිසරික වශයෙන් සංවේදී කලාප ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයන්; පාරිසරික පර්යේෂණ, සමීක්ෂණ සහ සේවා නැඹුරු ව්යාපෘති; කාර්යාල පරිශ්රයේ භූමි අලංකරණය; අපද්රව්ය කළමනාකරණය; ජලය සහ විදුලි පරිභෝජනය අවම කිරීම; සහ කාබන් පියසටහන අඩු කිරීම අරමුණු කරගත් මුලපිරීම් මෙයට ඇතුළත් වේ.


සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට සමගාමීව ගම්පහ දිස්ත්රික් “සුපිළිපන් පා ගමන” ජූලි 28 වනදින ගම්පහ දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම පාගමන ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වී මිරිස්වත්ත මංසන්ධිය වෙත ගොස් නැවත ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් අවසන් විය.
පාගමන අවසානයේ වීදි නාට්යයක් රඟදක්වමින් නිලධාරීන් දැනුවත් කිරීමටත් කටයුතු කර තිබූ අතර මේ අවස්ථාවන් සඳහා ගම්පහ අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, ආසිරි වීරසේකර යන මහත්වරුන් , සහකාර දිස්ත්රික් ලේකම් නිලන්ති කුමාරි මහත්මිය ඇතුළු ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ නිලධාරීන් හා දිස්ත්රික්කය තුළ ස්ථාපිත කොට ඇති අනෙකුත් රාජ්ය ආයතනයන්හි නිලධාරීන් 600 දෙනෙකු පමණ සහභාගී වූහ.



වසර 100ක් පමණ පැරණි අග්රා වලව්වේ උඩු මහළේ අලුතින් ස්ථාපිත කරන ලද ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයීය පුහුණු මධ්යස්ථානය 2026.06.18 දින සුබ මොහොතින් විවෘත කෙරිණි.
2023 වර්ෂයේ ගම්පහ කච්චේරිය සත් මහල් “ලක් සියනෑ මන්දිර” ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීමෙන් අනතුරුව භාවිතයෙන් ඉවත් කර තිබූ අග්රා වලව්ව නැවත පෞරාණිකත්වය සුරැකෙන පරිදි සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කරනු ලැබීය.
ගම්පහ දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි නැවත මෙම වලව්ව සම්පූර්ණයෙන් ප්රතිසංස්කරණය කරන ලද අතර වලව්වේ ඉහළ මහළේ දිස්ත්රික් ලේකම් කාර්යාලයීය පුහුණු ඒකකය ස්ථාපිත කිරීමටත් පහළ මහළ තුළ ගම්පහ දිස්ත්රික්කයේ හා අග්රා වලව්වේ පුරාවෘත්ත හා මතක සටහන් ඒකරාශී කර කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යාමටත් තීරණය කරන ලදී.
ඒ අනුව 2026.06.18 දින විවෘත කරන ලද පුහුණු ඒකකය පරිගණක 25කින් යුක්ත පරිගණක විද්යාගාරයක් හා දේශන ශාලා 02කින් සමන්විත වේ.
මෙම පෞරාණික අග්රා වලව්ව 1925 – 1930 අතර කාලයේ ඉදිකරන ලද්දක් වන අතර එහි පියගැටපෙළ හා සිවිලිම් ඉතා අලංකාර ලී කැටයම් හා පෞරාණික ගෘහනිර්මාණ ශිල්පය අනුව නිර්මාණය කර ඇත.
මෙම වලව්වේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන් හා කම්කරුවන් යොදා ගෙන ඇති අතර රාජ්ය මන්ත්රණ සභාවේ ගම්පහ දිස්ත්රික් ප්රථම පාර්ලිමේන්තු මන්ත්රී ඩී.ඩී. කරුණාරත්න මහතාට අයත් මෙම පෞරාණික අග්රා වලව්ව පසු කාලයේදී රජයට පවරා ගෙන ඇත. කොළඹ දිස්ත්රික්කයෙන් වෙන් කර ගම්පහ පරිපාලන දිස්ත්රික්කයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු 1978 වර්ෂයේදී ගම්පහ කච්චේරි ගොඩනැගිල්ල බවට මෙම “අග්රා” වලව්ව පත් කෙරිණි.
1966 වසරේ ප්රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතා අධ්යක්ෂණය කරන ලද ප්රථම චිත්රපටය වන “පරසතු මල්” රූපගත කරන ලද්දේ මෙම අග්රා වලව්වේදීය.
මෙම වලව්ව ප්රතිසංස්කරණය සඳහා අවශ්ය උපදේශකත්වය මොරටුව විශ්වවිද්යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු මහතා ලබා දුන් අතර ඉදිරියේදී අග්රා වලව්වේ බිම් මහළේ ස්ථාපිත කිරීමට නියමිත කෞතුගාරය ද මහාචාර්යවරයාගේ උපදේශකත්වය මත ඉදිකිරීමට නියමිතය.
මෙම නව පුහුණු මධ්යස්ථානය විවෘත කිරීම ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ, දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ, මොරටුව විශ්වවිද්යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු යන මහත්වරුන්, ගම්පහ අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් , නියෝජ්ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්ර වික්රමසිංහ මහතා ඇතුළු දිස්ත්රික්කයේ රාජ්ය ආයතන ප්රධානීන් සහ රාජ්ය නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙහි ප්රථම පුහුණු පාඨමාලාව ලෙස තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුළු විශේෂ පරිගණක දැනුම ඇති රාජ්ය නිලධාරීන් 20 දෙනෙකු සඳහා AI (Artificial intelligence) තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ආරම්භ කරන ලදී. මේ සඳහා ක්ෂේත්රයේ ප්රවීණ බාහිර සම්පත් දායකයන් යොදා ගනු ලැබීය
ඉදිරියේදී මෙම අග්රා වලව්ව රාජ්ය ආයතන , රාජ්ය හා පෞද්ගලික බැංකු හා පෞද්ගලික අංශවල පුහුණු පාඨමාලා සඳහා දේශන ශාලා හා පරිගණක විද්යාගාර පහසුකම් සහිතව ලබාදීමට බලාපොරොත්තු වේ. මීට අමතරව පෞරාණික අග්රා වලව්වේ ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය හා අද්විතීය ලී කැටයම් කලාව පිළිබඳ නැරඹීමටත් එම ආයතනවල රැස්වීම සඳහා මෙම ශාලාව වෙන් කර ගැනීමට හැකියාව පවතින අතර ඒ පිළිබඳ මිල ගණන් ඉදිරියේදී ප්රකාශ කිරීමට නියමිතය.
මීට අමතරව චිත්රපට, ටෙලිනාට්ය ආදී ප්රසාංගික කටයුතු සඳහා අග්රා වලව්ව කොන්දේසි වලට යටත්ව ලබාදීමට බලාපොරොත්තු වන අතර ඊට අදාළ තොරතුරු ඉදිරියේදී ප්රකාශයට කරන බව මාධ්ය හමුවේදී දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට අනුගතව ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සුපිළිපන් දිවුරුම/ ප්රතිඥා දීම ගම්පහ දිස්ත්රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් ජූලි 27 වනදින දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.
ශ්රී ලංකාවේ සමස්ත රාජ්ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්යූහයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක් උදෙසා ජාතික සුපිළිපන් සතිය - ජූලි 27 සිට ජූලි 31 දින දක්වා ක්රියාත්මක කෙරේ.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.



දිස්ත්රික්කයේ විශාලතම සහ සියලු නවීන පහසුකම්වලින් අංගසම්පුර්ණ ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදි කළ නව “අග්රා” ශ්රවණාගාරය රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් 2026.05.15 දින සුබ මොහොතින් විවෘත කිරීම සිදුවිය.
මෙම ශ්රවණාගාරය අති නවීන තාක්ෂණික උපාංගවලින් යුතු වන අතර ආසන 1000කින් ද, මීටර් 24ක් දිග මීටර් 12ක් පළල වේදිකාවකින් ද, ශබ්ද පාලන ක්රම හා වේදිකා ආලෝකකරණ පද්ධතිවලින් මෙන්ම ශ්රව්ය දෘශ්ය හා භාෂා පරිවර්තන පහසුකම් වලින් ද, නාට්ය හා ප්රාසාංගික කටයුතු සඳහා භාවිත කරන අංශක 360 පරිදර්ශක සිතුවම් චිත්රණය කරන සයික්ලොරාමා පුළුල් තිරයෙන් ද සමන්විත වේ.
මීට අමතරව ශ්රවණාගාරය ප්රභූ විවේකාගාරයක්, වේෂ නිරූපන ශිලපීන් වෙනුවෙන් විවේක කාමර, උඩුමහලෙහි ප්රදර්ශනය සඳහා වෙන් කරන ලද කලාගාරවලින් යුක්ත වන අතර මෙම ශ්රවණාගාරය රැස්වීම් ශාලාවක් හා රංග ශාලාවක් ලෙසින් භාවිත කිරීමට ද හැකි වන පරිදි ඉදිකර තිබේ.
වසර ගණනාවක් පැරණි අග්රා ගොඩනැගිල්ලේ පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාලය වඩාත් විධිමත් මෙන්ම දිස්ත්රික්කයට වඩාත් ඵලදායී පරිපාලන සංකීර්ණයක් බවට පත්කිරීමේදී කලා කටයුතු, සංස්කෘතික කටයුතු, රාජ්ය අංශයේ උත්සව කටයුතු සඳහා අත්යවශ්යම අංගයක් ලෙස මෙවැනි ශ්රවණාගාරයක් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රය තුළ ස්ථාපිත කිරීමේ අවශ්යතාවය අවධාරණය කෙරිණ.
රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ශ්රවණාගාරය සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 720 කි.















