සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් “සුපිළිපන් පා ගමන” ජූලි 28 වනදින ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙම පාගමන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වී මිරිස්වත්ත මංසන්ධිය වෙත ගොස් නැවත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් අවසන් විය.

පාගමන අවසානයේ වීදි නාට්‍යයක් රඟදක්වමින් නිලධාරීන් දැනුවත් කිරීමටත් කටයුතු කර තිබූ අතර මේ අවස්ථාවන් සඳහා ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, ආසිරි වීරසේකර යන මහත්වරුන් , සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි මහත්මිය ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නිලධාරීන් හා දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කොට ඇති අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් 600 දෙනෙකු පමණ සහභාගී වූහ.

1 2

3 4

5 6

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට අනුගතව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 27 වනදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සුපිළිපන් සතිය - ජූලි 27 සිට ජූලි 31 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

2  1

3  4

2  6

වසර 100ක් පමණ පැරණි අග්‍රා වලව්වේ උඩු මහ‍ළේ අලුතින් ස්ථාපිත කරන ලද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පුහුණු මධ්‍යස්ථානය 2026.06.18 දින සුබ මොහොතින් විවෘත කෙරිණි.
2023 වර්ෂයේ ගම්පහ කච්චේරිය සත් මහල් “ලක් සියනෑ මන්දිර” ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීමෙන් අනතුරුව භාවිතයෙන් ඉවත් කර තිබූ අග්‍රා වලව්ව නැවත පෞරාණිකත්වය සුරැකෙන පරිදි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි නැවත මෙම වලව්ව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද අතර වලව්වේ ඉහළ මහළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පුහුණු ඒකකය ස්ථාපිත කිරීමටත් පහළ මහළ තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ හා අග්‍රා වලව්වේ පුරාවෘත්ත හා මතක සටහන් ඒකරාශී කර කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යාමටත් තීරණය කරන ලදී.
ඒ අනුව 2026.06.18 දින විවෘත කරන ලද පුහුණු ඒකකය පරිගණක 25කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක් හා දේශන ශාලා 02කින් සමන්විත වේ.
මෙම පෞරාණික අග්‍රා වලව්ව 1925 – 1930 අතර කාලයේ ඉදිකරන ලද්දක් වන අතර එහි පියගැටපෙළ හා සිවිලිම් ඉතා අලංකාර ලී කැටයම් හා පෞරාණික ගෘහනිර්මාණ ශිල්පය අනුව නිර්මාණය කර ඇත.
මෙම වලව්වේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන් හා කම්කරුවන් යොදා ගෙන ඇති අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඩී. කරුණාරත්න මහතාට අයත් මෙම පෞරාණික අග්‍රා වලව්ව පසු කාලයේදී රජයට පවරා ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙන් කර ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු 1978 වර්ෂයේදී ගම්පහ කච්චේරි ගොඩනැගිල්ල බවට මෙම “අග්‍රා” වලව්ව පත් කෙරිණි.
1966 වසරේ ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වන “පරසතු මල්” රූපගත කරන ලද්දේ මෙම අග්‍රා වලව්වේදීය.
මෙම වලව්ව ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය උපදේශකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු මහතා ලබා දුන් අතර ඉදිරියේදී අග්‍රා වලව්වේ බිම් මහළේ ස්ථාපිත කිරීමට නියමිත කෞතුගාරය ද මහාචාර්යවරයාගේ උපදේශකත්වය මත ඉදිකිරීමට නියමිතය.
මෙම නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු යන මහත්වරුන්, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙහි ප්‍රථම පුහුණු පාඨමාලාව ලෙස තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුළු විශේෂ පරිගණක දැනුම ඇති රාජ්‍ය නිලධාරීන් 20 දෙනෙකු සඳහා AI (Artificial intelligence) තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ආරම්භ කරන ලදී. මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ බාහිර සම්පත් දායකයන් යොදා ගනු ලැබීය
ඉදිරියේදී මෙම අග්‍රා වලව්ව රාජ්‍ය ආයතන , රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා පෞද්ගලික අංශවල පුහුණු පාඨමාලා සඳහා දේශන ශාලා හා පරිගණක විද්‍යාගාර පහසුකම් සහිතව ලබාදීමට බලාපොරොත්තු වේ. මීට අමතරව පෞරාණික අග්‍රා වලව්වේ ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය හා අද්විතීය ලී කැටයම් කලාව පිළිබඳ නැරඹීමටත් එම ආයතනවල රැස්වීම සඳහා මෙම ශාලාව වෙන් කර ගැනීමට හැකියාව පවතින අතර ඒ පිළිබඳ මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.
මීට අමතරව චිත්‍රපට, ටෙලිනාට්‍ය ආදී ප්‍රසාංගික කටයුතු සඳහා අග්‍රා වලව්ව කොන්දේසි වලට යටත්ව ලබාදීමට බලාපොරොත්තු වන අතර ඊට අදාළ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට කරන බව මාධ්‍ය හමුවේදී දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

1 2 3 4 5 6 7 8

 

දිස්ත්‍රික්කයේ විශාලතම සහ සියලු නවීන පහසුකම්වලින් අංගසම්පුර්ණ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදි කළ නව “අග්‍රා” ශ්‍රවණාගාරය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.15 දින සුබ මොහොතින් විවෘත කිරීම සිදුවිය.

මෙම ශ්‍රවණාගාරය අති නවීන තාක්ෂණික උපාංගවලින් යුතු වන අතර ආසන 1000කින් ද, මීටර් 24ක් දිග මීටර් 12ක් පළල වේදිකාවකින් ද, ශබ්ද පාලන ක්‍රම හා වේදිකා ආලෝකකරණ පද්ධතිවලින් මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය හා භාෂා පරිවර්තන පහසුකම් වලින් ද, නාට්‍ය හා ප්‍රාසාංගික කටයුතු සඳහා භාවිත කරන අංශක 360 පරිදර්ශක සිතුවම් චිත්‍රණය කරන සයික්ලොරාමා පුළුල් තිරයෙන් ද සමන්විත වේ.

මීට අමතරව ශ්‍රවණාගාරය ප්‍රභූ විවේකාගාරයක්, වේෂ නිරූපන ශිලපීන් වෙනුවෙන් විවේක කාමර, උඩුමහලෙහි ප්‍රදර්ශනය සඳහා වෙන් කරන ලද කලාගාරවලින් යුක්ත වන අතර මෙම ශ්‍රවණාගාරය රැස්වීම් ශාලාවක් හා රංග ශාලාවක් ලෙසින් භාවිත කිරීමට ද හැකි වන පරිදි ඉදිකර තිබේ.

වසර ගණනාවක් පැරණි අග්‍රා ගොඩනැගිල්ලේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වඩාත් විධිමත් මෙන්ම දිස්ත්‍රික්කයට වඩාත් ඵලදායී පරිපාලන සංකීර්ණයක් බවට පත්කිරීමේදී කලා කටයුතු, සංස්කෘතික කටයුතු, රාජ්‍ය අංශයේ උත්සව කටයුතු සඳහා අත්‍යවශ්‍යම අංගයක් ලෙස මෙවැනි ශ්‍රවණාගාරයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ශ්‍රවණාගාරය සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 720 කි.

1432111265

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන අප්‍රේල් මස 29 දින නිල වශයෙන් එළිදැක්විණි.
බලශක්ති ප්රභවයන් ප්රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.
රාජ්ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව ඍජුව දායක කරවා ගැනීම මෙහි ප්රධාන අපේක්ෂාවයි.
මෙම වැඩසටහන අප්‍රේල් මස 29 සිට ඉදිරි මාස පහක කාලයක් පුරා ක්රියාත්මක වීමට නියමිතය.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව ක්රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ "සුරකිමු ලංකා - එකතු වෙමු - එළිය දෙමු" යන තේමාවෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
මේ සඳහා රාජ්ය හා අර්ධ රාජ්ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.
විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම "සුරකිමු ලංකා" වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.

Sinhala

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් නිදහස් දින වැඩසටහන පෙබරවාරි 04 පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති/ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණ.
මෙහිදී පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතා, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ශිෂ්‍ය බට හමුදා උත්තමාචාර මැද රතු පළස මතින් උත්සව අවස්ථාවට සම්ප්‍රාප්ත වූ අතර හමුදාව උත්තමාචාර මධ්‍යයේ සම්ප්‍රදානුකූලව ජාතික ධජය එසවීමෙන් පසු ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ දරු දැරියන් විසින් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරන ලදී.
අනතුරුව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කරනු ලැබීය.
මීට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ සම්භාවනීය අමුත්තන් විසින් රුක් රෝපණය කිරීමක් ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, ආසිරි වීරසේකර , සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන වල ආයතන ප්‍රධානීන්, ශ්‍රී ලංකා යුද හමුදා හා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.

3  4  5  6  78  10  11  12  13

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන "Green team - Gampaha" කණ්ඩායම 2026 වසරට වැඩ ආරම්භ කරමින්, පාරසරික සමතුලිත බව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රය තුළ සකස් කොට ඇති නාගරික වන උද්‍යානවල (Urban Forest) රෝපණය කරන ලද පැළ අවට පිරිසිදු කිරීම, නැවත සකස් කිරීම, ඉඩ ඇති තැන්වල නැවත පැළ සිටුවීම හා පුවක් පැළ රෝපණය කිරීමේ කටයුතු ජනවාරී 09 වනදා දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.

පරිසරයට වටිනාකමක් දායාද කරමින් නැදුන් ,මී, හොර, කුඹුක්, කළුවර, කොස් ආදී වටිනා පැළ රාශියක් රෝපණය කිරීම තුළින් කාර්මීකරණයත්, තාක්ෂණික හා ගොඩනැගිලිවලින් යුතු පරිසරයක හැකි පමණ වනගහනයෙන් යුතු ස්ථානයන් නිර්මාණය කිරීම තුළින් මානසික සුවය සහිත, වායු දූෂණය අවම කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණකි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි 2024 මාර්තු මස සිට ආරම්භ කර ක්රියාත්මක වන "Green team වැඩසටහනේ "Green team - Gampaha" කණ්ඩායමට ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයට හා ගම්පහ ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ ස්වේච්ඡාවෙන් හා කාර්යශූරව කටයුතු කරන නිලධාරීන් 40 දෙනෙකු සම්බන්ධ ව සිටිති.

මේ අවස්ථාව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, ගම්පහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර, ගම්පහ කෘෂිකර්ම අධ්‍යක්ෂ සන්ධ්‍යා කුමාරි, පරිපාලන නිලධාරීනී ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්. රුද්‍රිගු, යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “Green Team” කණ්ඩායම එක්ව සිටියහ.

1  2  3  4  5  6

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරී 01වනදා උදෑසන 8.15 සිට සිදු කෙරිණි.

සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී තෝරපිටියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ හා බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නා හිමියන් ප්‍රධාන සංඝරත්නයේ සහ කාවින්ද ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කරන ලද ආගමික වතාවත්වලින් පසුව මහා සංඝරත්නය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයටත් රට වැසියන්ටත් සෙත්පතා පිරිත් සජ්ඣායනා කළහ.

දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලුදෙනා විසින් රජයේ ප්‍රතිඥාව ලබාදෙමින් රාජ්‍ය සේවයට කැපවන බවට ප්‍රකාශ කරන ලදී. නව වසරට සුභාෂිංශන එක් කළ දිස්ත්‍රික් ලේකම්වරයා, ගෙවී ගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් රජයේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබුණු අතර ඉන් සියයට අනූඅටක ප්‍රගතියක් අත් කර ගත් බවත් මේ වසරේදීත් ඒ අයුරින්ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරමු යැයි ද සඳහන් කළේය.

මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ජේ.ඩබ්.එස්. කිත්සිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ ස්ථාපිත කර ඇති රජයේ වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනුබද්ධ ආයතනයන්හි ප්‍රධානීන් හා කාර්යමණ්ඩලය ද එක්ව සිටියහ.

1  4  

7  2 1

9  13