වසර 100ක් පමණ පැරණි අග්‍රා වලව්වේ උඩු මහ‍ළේ අලුතින් ස්ථාපිත කරන ලද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පුහුණු මධ්‍යස්ථානය 2026.06.18 දින සුබ මොහොතින් විවෘත කෙරිණි.
2023 වර්ෂයේ ගම්පහ කච්චේරිය සත් මහල් “ලක් සියනෑ මන්දිර” ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීමෙන් අනතුරුව භාවිතයෙන් ඉවත් කර තිබූ අග්‍රා වලව්ව නැවත පෞරාණිකත්වය සුරැකෙන පරිදි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි නැවත මෙම වලව්ව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද අතර වලව්වේ ඉහළ මහළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පුහුණු ඒකකය ස්ථාපිත කිරීමටත් පහළ මහළ තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ හා අග්‍රා වලව්වේ පුරාවෘත්ත හා මතක සටහන් ඒකරාශී කර කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යාමටත් තීරණය කරන ලදී.
ඒ අනුව 2026.06.18 දින විවෘත කරන ලද පුහුණු ඒකකය පරිගණක 25කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක් හා දේශන ශාලා 02කින් සමන්විත වේ.
මෙම පෞරාණික අග්‍රා වලව්ව 1925 – 1930 අතර කාලයේ ඉදිකරන ලද්දක් වන අතර එහි පියගැටපෙළ හා සිවිලිම් ඉතා අලංකාර ලී කැටයම් හා පෞරාණික ගෘහනිර්මාණ ශිල්පය අනුව නිර්මාණය කර ඇත.
මෙම වලව්වේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන් හා කම්කරුවන් යොදා ගෙන ඇති අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඩී. කරුණාරත්න මහතාට අයත් මෙම පෞරාණික අග්‍රා වලව්ව පසු කාලයේදී රජයට පවරා ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙන් කර ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු 1978 වර්ෂයේදී ගම්පහ කච්චේරි ගොඩනැගිල්ල බවට මෙම “අග්‍රා” වලව්ව පත් කෙරිණි.
1966 වසරේ ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වන “පරසතු මල්” රූපගත කරන ලද්දේ මෙම අග්‍රා වලව්වේදීය.
මෙම වලව්ව ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය උපදේශකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු මහතා ලබා දුන් අතර ඉදිරියේදී අග්‍රා වලව්වේ බිම් මහළේ ස්ථාපිත කිරීමට නියමිත කෞතුගාරය ද මහාචාර්යවරයාගේ උපදේශකත්වය මත ඉදිකිරීමට නියමිතය.
මෙම නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සමිත මානවඩු යන මහත්වරුන්, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මෙහි ප්‍රථම පුහුණු පාඨමාලාව ලෙස තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුළු විශේෂ පරිගණක දැනුම ඇති රාජ්‍ය නිලධාරීන් 20 දෙනෙකු සඳහා AI (Artificial intelligence) තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ආරම්භ කරන ලදී. මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ බාහිර සම්පත් දායකයන් යොදා ගනු ලැබීය
ඉදිරියේදී මෙම අග්‍රා වලව්ව රාජ්‍ය ආයතන , රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා පෞද්ගලික අංශවල පුහුණු පාඨමාලා සඳහා දේශන ශාලා හා පරිගණක විද්‍යාගාර පහසුකම් සහිතව ලබාදීමට බලාපොරොත්තු වේ. මීට අමතරව පෞරාණික අග්‍රා වලව්වේ ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය හා අද්විතීය ලී කැටයම් කලාව පිළිබඳ නැරඹීමටත් එම ආයතනවල රැස්වීම සඳහා මෙම ශාලාව වෙන් කර ගැනීමට හැකියාව පවතින අතර ඒ පිළිබඳ මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.
මීට අමතරව චිත්‍රපට, ටෙලිනාට්‍ය ආදී ප්‍රසාංගික කටයුතු සඳහා අග්‍රා වලව්ව කොන්දේසි වලට යටත්ව ලබාදීමට බලාපොරොත්තු වන අතර ඊට අදාළ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට කරන බව මාධ්‍ය හමුවේදී දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

1 2 3 4 5 6 7 8